Thu. Oct 3rd, 2024

ජෙනරේටරයෙන් විෂ වායුවක් එයි – පිය පුතු දෙදෙනා මරු තුරුලේ

May24,2024

විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු ඊයේ (23 දා) අලුයම ජීවිතක්‍ෂයට පත්වී ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසීය. මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි සනත් රෝහණ (40) සහ ගගණ මධුසංඛ (17) යන අයයි.

ජීවිතක්‍ෂයට පත් අය වෙසක් දිනය නිමිත්තෙන් පුපුරැස්ස නගරයේ බත් දන්සැලක් පැවැත්වීම සඳහා සූදානම් වෙමින් සිටියදී ප්‍රදේශයේ විදුලි බලය ඇනහිටීම නිසා කාමරයක් තුළ විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගොස් ඇති අතර පසුදා අලුයම (23 දා) දෙදෙනා අවදි නොවූ නිසා ඒ පිළිබඳව දන්සැල සංවිධානය කිරීමට පැමිණි අනෙක් අය විසින් පුපුරැස්ස පොලිසියට දැනුම්දී ඇත.

පුපුරැස්ස පොලිසියේ නිලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී පුතා සහ පියා ජීවිතක්ෂයට පත්වී ඇති බවට තහවුරු වූ නිසා සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් කාන්ති ප්‍රනාන්දු මහත්මිය ස්ථාන පරීක්‍ෂාවෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා ගම්පොළ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස පුපුරැස්ස පොලිසියට නියෝග කර ඇත.

විදුලි ජනක යන්ත්‍රයෙන් නිකුත් වූ කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රාහණය වීමෙන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පුපුරැස්ස පොලිසිය කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *