Thu. Oct 3rd, 2024

අරක්කු වීදුරුවට වස දමා සැමියා එලොව යැවූ බිරින්දෑ අත්අඩංගුවට – වස දැමූ හේතුව මෙන්න

May27,2024

විස රසායන ද්‍රව්‍යයක් මත්පැන් වීදුරුවට දමා සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිය සහ ඇයගේ සොහොයුරා බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සිය සැමියා මරා දැමීමේ අදහසින් බිරිය සිය සොහොයුරා ලවා විස රසායන ද්‍රව්‍යයක් සැමියා මත්පැන් බොමින් සිටි වීදුරුවට දමනු ලැබ ඇති බව පොලිසිය පවසයි.

විස සහිත මත්පැන් වීදුරුව බීමත් සමග ඇගේ සැමියා එතන ම ඇද වැටී ඇති අතර පසුව ඔහු රෝහල්ගත කර ඇත්තේ හෘදයාබාධයකින් ඔහු මියගිය බව කියමින් ය.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර එහිදී අධිකරණ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇත්තේ හෘදයාබාධයකින් නොව විස ශරීර ගත වීමෙන් පසුව බව ය.

පසුව බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති නිශ්ශංක සිල්වා මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹිණි.

එම විමර්ශනයේදී පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ, මියගිය පුද්ගලයාගේ බිරියගේ සොහොයුරා ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෙළෙඳසලකින් රසායනික ද්‍රව්‍යක් මිල දී ගෙන ඇති බව ය.

ඒ තොරතුරු ඔස්සේ විමර්ශන ඇරඹූ නිලධාරීන් බිරියගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, තම සොහොයුරිය නිධානයක් හෑරීමට යැයි කියමින් රන් ආලේප කිරීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය ස්වල්පයක් ගෙනත් දෙන ලෙස කී බව ය.

ඔහුගේ ප්‍රකාශය මත පොලිය මිය ගිය පුද්ගලයාගේ බිරිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැමියාගෙන් සිදුවන තාඩන පීඩන නිසා සැමියා මත්පැන් බොමින් සිටි වීදුරුවට රසායනය දමා දී ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබේ.

තිදරු මවක වන ඇය බෙලිඅත්ත, කොස්ගහගොඩ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බෙලිඅත්ත කොස්ගහගොඩ පදිංචි රත්නගොඩ බරනාදුගේ ගයාන් චන්දිම කුමාර නමැති 45 හැවිරිදි අයෙකි.
පෙදරේරුවෙකු ලෙස රැකියාව කරන ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවක් දිනපතා අරක්කු භාගයක් සිය නිවසට රැගෙනවිත් පානය කිරීමද පුරුද්දක් ලෙස කරගෙන පැමිණ ඇති අතර සැකකාරිය ඔහුගේ මත්පැන් වීදුරුවට වස දමා දී ඇත්තේ එවන් මොහොතක බවත් පොලිසිය කියයි.

සැකකාරිය සහ ඇගේ සොහොයුරා ඊයේ (මැයි 26) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

– මව්බිම –

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *